පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) ත්‍රිකුණාමලය, නොර්වේ දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 529 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 25 සහ 34 වන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මුතුර්, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, පසුගිය මාර්තු 26 වන දින ද ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙවැනි ආකාරයට පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 80 සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. තවද, නාවික හමුදාව සිදු කරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් මෙවැනි නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රම මැඩපැවැත්විමට හැකිවී ඇති අතර, ඉදිරියේදීද මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටී.