ලීමා - 2019 සඳහා එක් වූ ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ නිරික්‍ෂණ චාරිකාවකට නාවික හමුදාධිපතිතුමා එක්වෙයි

ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා - 2019) සහභාගී වීම සඳහා මාර්තු 19 වන දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව පසුගිය මාර්තු 25 වන දින මැලේසියාවේ ලන්කාවි දූපතට ලඟා වූ අතර, මැලේසියානු නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව ‘සාගර’ නෞකාව උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

මැලේසියාවේ නිළ සංචාරයක් අතරතුර නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඊයේ (මාර්තු 27) ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වන ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සහ නාවික හමුදාධිපතිතුමා විසින් නෞකාවේ සමරු පොතෙහි සමරු සටහනක් තැබිමට ද කටයුතු කරන ලදී.

එමෙන්ම ඊයේ‍ මැලේසියානු අග්‍රමාත්‍ය ගරු මහතීර් බින් මොහොමඞ් මහතා විසින් ලීමා - 2019 ප්‍රදර්ශණයට සහභාගි වන නෞකාවන් නිරික්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව ද නිරික්‍ෂණයට ලක් කරන ලදී. මෙම ප්‍රදර්ශණයට සංස්කෘතික සංදර්ශණ, නෞකා දැක්ම, නාවික හා ගුවන් ඒකාබද්ධ අභ්‍යාසයන් ඇතුළු විශේෂ වැඩසටහන් රාශියක් පැවැත්වෙන අතර, එළඹෙන 30 වන දින මෙම ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණය නිමා විමට නියමිතව ඇත.