සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් ඊයේ (මාර්තු 27) මීගමුව, පල්ලියවත්ත වෙරළ තීරය සහ පෝරතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී. මෙම වැඩසටහන ‘පිරිසිදු දෑතින් හදමු පිරිසිදු රටක්’ තේමාව මුල් කර ගනිමින් ඩෙටෝල් පුද්ගලික සමාගම මඟින් සංවිධානය කර තිබු අතර, මෙම වැඩසටහන සඳහා නාවික හමුදා සාමාජිකයින් 100 දෙනෙකු පමණ සහභාගී සිටියහ.

තවද, මෙම වැඩසටහන සඳහා සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරියට අනුයුක්ත නිලධාරින්, මිගමුව නගර සභා නිලධාරින් මෙන්ම ප්‍රදේශයේ සමෘද්ධිලාභි සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මෙහිදී දිරණ සහ නොදිරණ ද්‍රව්‍ය වෙන වෙනම එකතු කර මීගමුව නගර සභාව මඟින් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ කටයුතු සදහා යොමු කරන ලදී.

එමෙන්ම, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී සිටින අතර, සතිපතා සියළුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.