මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 ක් නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 11 ක් සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) ඊයේ (මාර්තු 23) රාත්‍රී කාලයේදී නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අනලතිව් දුපතට නාවික සැතපුම් 4ක් පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයක නිරතව සිටියදී මෙම සංක්‍රමණික ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.