නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකින් උතුරු මුහුදේදී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (පෙබරවාරි 27) උදෑසන පේදුරුතුඩුවට උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

නාවික හමුදා යාත්‍රා මඟින් උතුරු මුහුදේ සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරික්‍ෂණ කර ඇති අතර, අදාල ඩිංගි යාත්‍රාව පරික්‍ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86.4 ක ප්‍රමණයක් සොයා ගැනීමට සමත්ව ඇත. මෙම කේරළ ගංජා තොගය පර්සල් දෙකක බහා තිබි ඇති අතර, ඒවා ඉන්දීයාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට සැක පළ කෙරේ. අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා තොගය, පුද්ගලයන් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේයි, පොලීසිය වෙත භාර දීමට නියමිතය. ඒ අනුව, මෙම වසර තුළ පමණක් නාවික හමුදාව විසින් උතුරු මුහුදේ සිදු කළ මෙහෙයුම් අවස්ථා හයකදී (06) කේරළ ගංජා කිලෝග්‍රෑම් 442.2 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

රජයේ මත්ද්‍රව්‍ය මැඩලීමේ සංකල්පයට සමගාමිව නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය වැටලිම උදෙසා ශ්‍රී ලංකාව අවට සාගර කලාපය තුළ වැඩිදියුණු කල උපායශිලි මෙහෙයුම්වල ප්‍රථිපලයක් වශයෙන් සාපෙක්‍ෂව මෙම වසරේදි මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. ඉදිරියේදී නවතම තාක්‍ෂණික ක්‍රම භාවිතය තුලින් මත් ද්‍රව්‍ය මැඩලීම උදෙසා නාවික හමුදාව සුවිශේෂි මෙහෙවරක් ඉටු කිරීමට බලාපොරොත්තු වේ.