මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයකට අනුව නාවික හමුදා විනයාරක්‍ෂාධිපති, කපිතාන් ධනේෂ් පත්බේරිය නිලධාරිතුමාගේ අධික්‍ෂණය යටතේ මත්ද්‍රව්‍ය උවදුර හා මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇත.

එහි පලමු අධියර යටතේ පසුගිය පෙබරවාරි මස 11 සහ 12 යන දෙදින තුළ දකුණු නාවික විධානය ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලද අතර, අද (පෙබරවාරි 26) බටහිර නාවික විධානය ආවරණය වන පරිදි කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන්හි දේශනය මෙහෙයවන ලද්දේ අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන හා තොරතුරු නිලධාරි, චාමර ප්‍රදීප් කරුණාරත්න මහතා විසින් වන අතර, ඒ සඳහා නාවික හමුදා පුද්ගලයින් විශාල පිරිසක් සහභාගි විය.

සමාජයේ ගැටළුවක්ව පවතින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ ඉන් වැළකීම පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ අරමුණින් නාවික හමුදාව විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර, මෙම වැඩසටහනේදී ‘දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ආදීනව’ පිළිබඳවත් එයින් සිදුවන සමාජීය, ආර්ථිකමය හා පෞද්ගලික පරිහානිය, අහිතකර බලපෑම් ආදිය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කරමින් කරුණු සාකච්ඡා කරන ලදී