ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් නවදෙනෙකු (09) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර නෞකාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් උතුරු මුහුදේ අද (පෙබරවාරි 25) උදෑසන සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ශ්‍රී ලංකාවට අයත් මුහු‍දු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් නවදෙනෙකු (09) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදි ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔවුන්ට අයත් ධීවර යාත්‍රා (Dhow) දෙකක් (02) ද නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙනවිත් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.