මහව මහපලුගස් වැව පිරිසිදු කිරීමට නාවික හමුදාවේ සහාය

සැල්වීනියා, පාසි ඇතුළු ජලජ පැලෑටි හේතුවෙන් විනාශ වි ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව තිබූ කුරුනෑගල දිස්ත්‍රික්කයේ මහව, මහපලුගස් වැව පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (පෙබරවාරි 23) ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදාව විසින් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.

මෙම වැඩසටහන සිරස මාධ්‍ය ජාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘සිරස ගම්මැද්ද’ V-Force පස්වන අදියර යටතේ සංවිධානය කර තිබූ අතර, ස්වේච්ජා සංවිධාන සහ ප්‍රදේශයේ ජනතාව සමඟ අත්වැල් බැඳගනිමින් නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සූජිව පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගිවී සිටියහ. මෙමඟින් ප්‍රදේශයේ ගොවි ජනතාවට සිය කෘෂිකාර්මික කටයුතු සිදු කර ගැනීමට මහඟු පිටිවහලක් සැලසෙන අතර, මෙම ක්‍රියාව ජනතාවගේ නොමඳ පැසසුමට ලක්විය.

තවද, පෞද්ගලික සහ රාජ්‍ය මෙන්ම ස්වේච්ජා සංවිධාන විසින් සංවිධානය කරනු ලබන මෙවැනි සමාජ සත්කාරක වැඩසහන් සඳහා නාවික හමුදාව අත්වැල් බැඳගනිමින් සිය උපරිම දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබන අතර, ප්‍රජා සත්කාරක වැඩසටහන් වෙනුවෙන් නාවික හමුදාව පෙරමුණ ගෙන කටයුතු කරනු ලබයි.