නාවික හමුදාව තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනකට දායකත්වය සපයයි

නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ මේ වන විට සමාජ සත්කාරක සේවාවන් රැසක් සිදු කරමින් පවතී. තම මාතෘ භූමියේ සහ ජනතාව‍ගේ සුභසිද්ධිය උදෙසා හැකි සෑම අවස්ථාවකදීම ප්‍රමුඛතාවය ගෙන කටයුතු කරන නාවික හමුදාව, සිය ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් මන්නාරම ප්‍රදේශයේ පිහිටි මන්නාරම්තොට දුම්රිය ස්ථානය සිට කොළඹ, කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරනු ලබන දුම්රියන් පිරිසිදු කිරිම වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් විසින් අද (පෙබරවාරි 23) උදෑසන මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා නාවික හමුදා නිලධාරින් 05 දෙනෙකු ඇතුළුව නාවික පුද්ගලයින් 100 ක පමණ ප්‍රමාණයක් සහභාගිවි සිටියහ. ඒ සඳහා මන්නාරම්තොට දුම්රිය ස්ථානයේ සේවක කාර්ය මණ්ඩලය ද සහභාගිවි සිටියහ.

මෙම කර්තව්‍යයට උරදුන් උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් හට මෙන්ම සමස්ථ නාවික හමුදාවට දුම්රිය සේවක මණ්ඩලයේ සහ මඟී ජනතාවගේ ගෞරවනීය ප්‍රශංසාව හිමි වූ අතර, එම ක්‍රියාව ඔවුන් මහත් ඉහලින් අගය කරනු ලැබූහ. ඉදිරියේදීත් මෙවැනි සමාජ සත්කාරක සේවාවන් රැසක් සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.