අවසරපත් නොමැතිව ගොඩ දැමූ තවත් වැලි තොගයක් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරින් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (පෙබරවාරි 22) පෙරිය කින්නියා, තිප්පංසෙට්ටි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අවසරපත් නොමැතිව ගොඩ දැමූ වැලි තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, තිප්පංසෙට්ටි ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව අවසරපත් නොමැතිව ගොඩදමා තිබූ වැලි කියූබ් 15,000 ක් පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, වැලි තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ශ්‍රී ලංකා පොලිසිය සහ භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.

එමෙන්ම පසුගිය පෙබරවාරි 20 වන දින මෙම ප්‍රදේශයේදීම අවසරපත් නොමැතිව ගොඩදමා තිබූ වැලි කියුබ් 15,000 කට ආසන්න වැලි ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදා සහාය ලබා දි තිබුණි. මෙවැනි අනවසර වැලි ගොඩදැමිම් හේතුවෙන් සිදු වන්නේ මහවැලි ගඟ ආශ්‍රිත පරිසර පද්ධතිය විනාශවිම වන අතර, එය මහවැලි ඟග ප්‍රයෝජනයට ගනු ලබන සියළු ප්‍රජාවට සිදුවන විශාල හානියකි. මෙවැනි අනවසර වැලි ගොඩදැමිම් මැඩපැවැත්විමට භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශයට සහ ශ්‍රී ලංකා පොලිසියට නිරන්තර සහාය ලබා දීමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.