ත්‍රිකුණාමලයේ වැලි ගොඩදැමිමට සුදුසු ස්ථාන හඳුනා ගැනීමට තවදුරටත් නාවික හමුදා සහාය

භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2019 පෙබරවාරි මස 15 වන දින සිට 28 වන දින දක්වා මහවැලි ගඟ ආශ්‍රිතව වැලි කැණිම් කටයුතු තාවකාලිකව වලක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පෙබරවාරි මස 21 වන දින සිට 23 වන දින දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වැලි කැණිම් සම්බන්ධයෙන් විධිමත් විමර්ෂණයක් සිදු කිරීමට භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය කටයුතු කරන ලදී.

ඒ අනුව ත්‍රිකුණාමලය, මහවැලි ගඟ ආශ්‍රිතව සිදු කරනු ලබන ක්ෂේත්‍ර විමර්ෂණ චාරිකාවන්හි තවත් එක් පියවරක් ඊයේ (පෙබරවාරි 21) ත්‍රිකුණාමලය, නීලපොල ප්‍රදේශයේ සිදු කරන ලද අතර, එහිදී වැලි කැණිම් කටයුතු සිදු කරනු ලබන ස්ථාන පරික්‍ෂා කරන ලදී.

මෙම ක්ෂේත්‍ර විමර්ෂණ චාරිකා වැඩසටහන තුලින් වැලි කැණිම් සඳහා සුදුසු ස්ථාන හඳුනා ගැනීම ද, දැනට නිකුත් කර ඇති බලපත්‍ර පරික්‍ෂා කිරීමක් ද සිදු කරනු ලබන අතර, මෙම මෙහෙයුම් සඳහා වනජිවි සංරක්‍ෂණ දේපාර්තමේන්තුව, භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ මධ්‍යම පරිසර අධිකාරියට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරින්ගේ ද සහාය හිමිව ඇත.