ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් දහතුන්දෙනෙකු (13) නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර නෞකාවකට සහ වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් උතුරු මුහුදේ ඊයේ (පෙබරවාරි 20) සිදු කළ මුර සංචාරයන් අතරතුරදි ශ්‍රී ලංකාවට අයත් මුහු‍දු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දහතුන්දෙනෙකු (13) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, කරෙයිතිව් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රාවක් (01) සහ එහි සිටි ධීවරයින් පස්දෙනෙකු (05) ද, ඩෙල්ෆ් දුපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) සහ එහි සිටි ධීවරයින් අටදෙනෙකු (08) ද නාවික හමුදාව මෙලෙස සිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙනවිත් වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේයි පොලිසිය වෙත භාර දීමට නියමිතව ඇත.

මෙම වසරේදි මෙවැනි නීති විරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 31 දෙනෙකු සමඟින් ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, මේ ආකාරයෙන් දේශ සීමා උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල සිදු කරන අනවසර ධීවර කටයුතු මැඩපැවැත්වීමට නාවික හමුදාව සිය මෙහෙයුම් නිරන්තරයෙන් සිදු කරමින් සිටි.