කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2019 ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේදී ආරම්භ කෙරේ.
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්විමට සංවිධානය කර ඇති ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) අද (ජනවාරි 26) ආරම්භ කෙරුණු අතර, එය ජනවාරි 29 වන දින දක්වා කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව එහි සමාරම්භක උත්සවය අද ශ්‍රී ලංකා නාවික‍ නෞකා සිදුරළ නෞකාවේදි නාවික හමුදා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් මහතා, 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයේ අණදෙන නිලධාරි, කපිතාන් සංජිව ප්‍රේමරත්න මහතා සහ නාවික අභ්‍යාසය සඳහා සහභාගිවන සියළුම නෞකාවන්හි අණදෙන නිලධාරින් ඇතුළුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරින් පිරිසක් ‍සහභාගිවි සිටියහ.

එම අවස්ථාව ඇමතූ රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම අවස්ථාව සඳහා සහභාගිවු සියළුම නාවික සහ ගුවන් හමුදා නිලධාරින් පිලිගන්නා බවත්, මෙම පුහුණු අභ්‍යාසය වෘත්තිමය හැකියාව වර්ධනය කිරීමට හෙඳ අවස්ථාවක් බවත්ය. ඒ අනුව මෙම පුහුණු අභ්‍යාසයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නාවික හමුදා සහ ගුවන් හමුදා නිලධාරින් සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරින් අතර සාකාච්ජාවක් ද එහිදි පවත්වන ලදී.

එමෙන්ම, මෙම නාවික අභ්‍යාසය වරාය සහ සාගරය වශයෙන් අධියර දෙකක් (02) යටතේ පැවැත්විමට නියමිත අතර, එහිදී මුහුදු බෝම්බ තැන්පත් කර ඇති අවස්ථාවක ජලයේ නිරුපද්‍රිතව යාත්‍රා කිරීම, මුහුදේදී සැපයුම් අවශ්‍යතා සම්පාදනය කර ගැනීම, නෞකාවන් ඇදගෙන යාම ඇතුළු නාවික අභ්‍යාසයන් රැසක් පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව, හෙට (ජනවාරි 27 ) දින සිට මුහුදු පුහුණු අභ්‍යාසය කොළඹ මුහුද ආශ්‍රිතව පැවැත්විමට නියමිතව ඇත.