සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහන සාර්ථක ලෙස නිමා වෙයි
 

ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක් පසුගිය ජනවාරි මස 16 වන දින පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය ප්‍රදේශයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කළ අතර, දින 08 ක් පුරා පැවැති මෙම වැඩසටහන අද (ජනවාරි 23) දින සාර්ථක ලෙස නිමාවට පත් විය. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවූ අතර, එහිදී පුහුණුව ලද ත්‍රිවිධ හමුදා සහ සිවිල් සංවිධාන සාමාජිකයින් හට සහතිකපත්‍ර ප්‍රදානයක් ද සිදු කරන ලදී.

‍මෙම පුහුණු වැඩසටහන හමුදා සහ සිවිල් වශයෙන් අධියර දෙකක් යටතේ පැවැත්වූ අතර, ජපානයේ ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය මඟින් ප්‍රවිණ පුහුණුකරුවන් 06 දෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකා නාවික හමුදා උපදේශකවරුන් මෙම අභ්‍යාසයේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන ලදී. මෙම පුහුණු වැඩසටහන සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත සාමාජිකයින් ඇතුළුව යුද්ධ, ගුවන් සහ පොලිසියට අනුයුක්ත සාමාජිකයින් මෙන්ම ස්වේච්ජා සංවිධාන සහ සිවිල් ජනතාව සහභාගිවන ලදී.

ඒ අනුව, පසුගිය දින කිහිපය පුරා ගඟ හරහා ගමන් කිරීම, රබර් යාත්‍රා උපයෝගි කර ගනිමින් ක්ෂණික ජල පුහුණු‍ මෙහෙයුම්, ක්ෂණික ජලය හරහා යාත්‍රා කිරීම, ක්ෂණික ජලයෙන් මුදවා ගැනීම, තනිව/පිරිසක් සමඟ යාත්‍රා කිරීමේදි ආරක්‍ෂිතව යාත්‍රා කිරීම, ලනු භාවිතය, ක්ෂණික ජල කඳවුරු පැවැත්විම සහ රාත්‍රි පිහිණුම් ක්‍රම, ජලයේ ආපදාවකට ලක් වූ පුද්ගලයෙකු බේරා ගැනීම සඳහා ජිවිතාරක්‍ෂක පුද්ගලයෙකු ජලයට ඇතුලු වන්නේ කේසේද යන කරුණු පිළිබඳව, ක්‍රියාශිලි සහ ආරක්‍ෂක පිහිණුම් ක්‍රම මෙන්ම හදිසි ප්‍රතිචාර යාත්‍රාවක් ජලයේදී අනතුරට පත් වූවහොත් එය නැවත ක්‍රියාත්මක කර ගන්නා ආකාරය සහ ජීවිතාරක්ෂක උපකරණ හැසිරවීම ආදි වූ කරුණු පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් පුහුණුවන්නන් හට ලබා ගැනීමට අවස්ථාව උදා වීය. මෙම ක්‍රියාකරකම් පුහුණුවන්නන් හට නැවුම් අත්දැකිමක් වූ හෙයින් ඒ සඳහා පුහුණුවන්නන් ඉතා උද්යෝගයෙන් හා ක්‍රියාශිලිව සහභාගි වන ලදි.

විශේෂයෙන්ම මෙම පුහුණු වැඩසටහන ජාත්‍යාන්තර ප්‍රමිතින්වලට අනුව පුද්ගලික පාවෙන උපකරණ, ආරක්ෂිත හිස්වැසුම්, තෙත් ඇඳුම්, තෙත් සපත්තු සහ වෙනත් නවීන උපකරණවලින් යුක්ත ජිවිතාරක්‍ෂක ඇදුම් කට්ටලයක් භාවිතා කරන ලද අතර, එයද පුහුණුවන්නන් හට නව අත්දැකීමක් විය. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක), අනුරාධ විජේකෝන් මහතා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සූජිව පෙරේරා මහතා, නාවික හමුදා මූලස්ථානයේ සහ වයඹ නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ මහතා සහ ශ්‍රී ලංකාවේ ආසියා පැසිෆික් සංවිධාන ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ, ඉර්සාන් හෂීම් මහතා, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නියෝජනය කරමින් නිලධාරින් මෙන්ම නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝන මූලස්ථානයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතා ඇතුළු බලඝණයේ නිලධාරින් සහ නාවිකයින් රැසක් සහභාගිවි සිටියහ.