මුහුදේදී රෝගාතුර වූ විදේශ මඟියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
 

ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (Maritime Rescue Coordinating Centre) සිදු කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ජර්මනියට අයත් ඇමේඩියා (Amadea) නම් මඟි ප්‍රවාහන නෞකාවේ සිටි රෝගාතුර මඟියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ (ජනවාරි 18) කටයුතු කරන ලදී.

ඉන්දියාවේ කොචින් වරායේ සිට හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ එම නෞකාවේ රෝගාතුර වූ මඟි කාන්තාවක් සිටින බැව ඊයේ රාත්‍රියේ 1100 පැයට මඟි නෞකාව විසින් කොළඹ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ඇති අතර, තොරතුරු ලද විගස බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් රෝගි කාන්තාව රැගෙන ඒම සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

ඒ අනුව, කොළඹ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 18 ක් දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන රාත්‍රි 1200 පැයට රෝගී වූ කාන්තාව නිරුපද්‍රිතව කොළඹ වරාය පරිශ්‍රයට රැගෙන ඒමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව ඇය වෛද්‍ය ප්‍රථිකාර සඳහා කොළඹ පිහිටි නවලෝක රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.