ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වැඩ භාර ගනී
 

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් කොට ඇත.

ඒ අනුව, අද (ජනවාරි 01) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් නව නාවික හමුදාධිපතිතුමන් වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපතිගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. මෙයට සමගාමීව නව නාවික හමුදාධිපතිතුමන් වෙත නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පිරිනැමීම ද සිදු කෙරිණි.

ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින්, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සිය නාවික හමුදාධිපති ධූරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කළ අතර, එම අවස්ථාව සඳහා එතුමන්ගේ දයාබර බිරිඳ, අරුන්දති ජයනෙත්ති මැතිණිය, යෙහාන් සහ දුලින යන පුතණූවන් දෙදනා ද සහභාගි වී සිටියහ. එමෙන්ම, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්, නාවික විධානයන් භාර ආඥාපතිවරුන්, ධජ නිලධාරී නාවික දියත් විධානය, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලැබීමට පෙර වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් ‍සේවය කරන ලදී.