නාවික හමුදාධිපතිතුමන් ගිණි‍කොණ නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් 20 වන දින ගිණි‍කොණ නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී, ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

පළමුව නාවික හමුදාධිපතිතුමන් විසින් සංගමන්කන්ද, සංගමන්ග්‍රාමම් ප්‍රදේශයේ ඉතා කෙටි කාලයක් තුළ අභිනවයෙන් ස්ථාපිත කරන ලද සංගමන්ග්‍රාමම් නාවික අනුඛණ්ඩය එතුමාගේ සුරතින් විවෘත කරන ලදී. ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද නාවිකයින් සමඟ සුහද පිළිසඳරක නිරත වූ එතුමන් ඔවුන්ගේ සේවය ඇගයීමට ද එහිදී කටයුතු කරන ලදී. තවද, එම අවස්ථාව සිහි කරනු වස් නාවික හමුදාධිපතිතුමන් විසින් කඳවුර පරිශ්‍රයේ ඇහැල පැලයක් ද රෝපණය කරන ලද අතර, අනතුරුව එතුමන් ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහානාඝ’ ආයතනයේ ස්ථාපිත කරන ලද නව විධාන මෙහෙයුම් මැදිරිය විවෘත කිරීමට ද එක් වන ලදී.

මෙම අවස්ථාව සඳහා ගිණිකොණ නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු අනුර ඒකනායක මහතා මෙන්ම ගිණිකොණ නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති වශයෙන් එළඹෙන දෙසැම්බර් 27 වන දින වැඩ භාර ගැනීමට නියමිත කොමදෝරු ප්‍රසන්න හේවගේ මහතා සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘මහානාඝ’ ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් නිශාන්ත රණවිර මහතා ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ සහ ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් රැසක් සහභාගීවි සිටියහ.