ටෙක්නෝ ශ්‍රී ලංකා 2018 තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණයේදී නාවික හමුදාව මගින් ඉදිරිපත් කල නව නිර්මාණ වෙනුවෙන් ත්‍යාග ප්‍රදානෝත්සවයක් නාවික හමුදාව සිදු කරන ලදි.
 

‘ටෙක්නෝ ශ්‍රී ලංකා 2018’ තාක්ෂණික හා වෙළඳ ප්‍රදර්ශණය පසුගිය ‍ඔක්තෝබර් 12 වන දින සිට 14 වන දින දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගි වීය.

එම ප්‍රදර්ශණය සඳහා නාවික හමුදාව ඉදිරිපත් කරන ලද නව නිපැයුම් ප්‍රදර්ශණ කුටිය ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මෙන්ම නරඹන්නන්ගේ ඉමහත් ප්‍රසාදයට හා ඇගයීමට ලක් වන ලදී. ඒ අනුව, නාවික හමුදා ප්‍රදර්ශණ කුටිය ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් විශේෂ ඇගයීමේ තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මෙම ප්‍රදර්ශණය සඳහා ඉදිරිපත් කරන ලද නව නිපැයුම් දිරිගැන්විමේ අරමුණින් නාවික හමුදාව වෙතින් මුදල් ත්‍යාග ප්‍රදානයක් සිදු කෙරුණු අතර, එම උත්සවය පසුගිය දෙසැම්බර් 18 වන දින නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විණි. එහිදී පහත සඳහන් නව නිපැයුම් ඉදිරිපත් කල කණ්ඩායම් විසින් මුදල් ත්‍යාග හිමි කර ගන්නා ලදී.

Weed Collector Machine පළමු ස්ථානය බටහිර නාවික විධානය රු: 25,000.00
P 47 Engine Control System දෙවන ස්ථානය නැගෙනහිර නාවික විධානය රු: 15,000.00
Ambient Air Purification තෙවන ස්ථානය බටහිර නාවික විධානය රු: 10,000.00
Gyro Testing Bed සිව්වන ස්ථානය නැගෙනහිර නාවික විධානය රු: 5,000.00
Lintel Block Modal පස්වන ස්ථානය නැගෙනහිර නාවික විධානය රු: 5,000.00
Infra-red Suspension System හයවන ස්ථානය දකුණු නාවික විධානය රු: 5,000.00