2018/2019 තරඟ වාරය සඳහා නාවික හමුදා රග්බි කණ්ඩායම් වෙනුවෙන් හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පෞද්ගලික) සමාගම අනුග්‍රාහකත්වය දක්වයි
 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ‍ක්ෂේත්‍ර‍යේ දියුණුව සඳහා කවදත් දායකත්වය ලබා දෙනු ලබන Hutchison Telecommunications Lanka (Pvt) Ltd සමාගම 2018/2019 තරඟ වාරය සඳහා ‍ රුපියල් මිලියන 08 ක අනුග්‍රාහක දායකත්වයක් නාවික හමුදා රග්බි කණ්ඩායම වෙත ලබා දීමට ඉදිරිපත් වි ඇති අතර, ඒ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සාකච්ජාව අද (දෙසැම්බර් 19) කොළඹ, ප්‍රදීපාගාර අවන්හල් පරිශ්‍රයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී මාධ්‍යවේදින් අමතමින් අදහස් දැක්වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම 2013 වසරේ සිට ක්‍රමයෙන් වර්ධනය වි අද වන විට ජාතික තලයේ ප්‍රමුඛ රග්බි සමාජයන්ට අභියෝගයක් වි ඇති වෘත්තිය මට්ටමේ දක්‍ෂතාවයන් පෙන්නුම් කරන රග්බි ක්‍රීඩකයින්ගෙන් සමන්විත ප්‍රබල රග්බි කණ්ඩායමක් බවට පත්වි ඇති බවත්, නාවික හමුදා පිරිමි සහ කාන්තා රග්බි කණ්ඩා‍යමේ සාමාජිකයින් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කරනු ලබන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදාවට ‍පමණක් නොව අප රටට ද මහත් කීර්තියක් අත්කර දිමට සමත්ව තිබෙන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වු මාණ්ඩලික ප්‍රධානීතුමා, නාවික හමුදා පිරිමි සහ කාන්තා රග්බි ක්‍රීඩකයින්ගේ මෙම අති විශිෂ්ඨ දක්‍ෂතා සහ වර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා Hutchison Telecommunications Lanka (Pvt) Ltd සමාගම 2018/2019 තරඟ වාරයේදී නාවික හමුදා රග්බි කණ්ඩායම් සදහා මූල්‍යම අනුග්‍රහක දායකත්වයක් සැපයිම සම්බන්ධයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ නාවික හමුදාව වෙනුවෙන් ප්‍රණාමය පිරිනමන බව ප්‍රකාශ කරන ලදී

මෙම මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාව සඳහා හච්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පෞද්ගලික) සමාගමේ, ප්‍රධාන විධායක නිලධාරි, තිරුකුමාර් නඩරාසා මහතා, නාවික හමුදා රග්බි සංගමයේ සභාපති, රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි මහතා, එහි ලේකම්, ‍කොමාණ්ඩර් (සැපයුම්) ධම්මික අබේසුන්දර මහතා සහ කණ්ඩායම් පුහුණුකරුවන් සහභාගීවූ අතර, විවිධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදින් රැසක් ද මේ සදහා සහභාගි වී සිටියහ.