නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 35 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 35ක් නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වීම, ධීවර කටයුතු සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම සහ ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතු වල නිරත වීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 09 වන දින හික්කඩුව ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 2.5 ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී වල්ලම් යාත්‍රාවක්, තහනම් දැලක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, යාත්‍රාව, තහනම් දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 10 වන දින ත්‍රිකුණාමල ප්‍රදේශයේ දී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 06 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී ඩිංගි යාත්‍රා 02 ක්, තහනම් දැල් 02 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, යාත්‍රා, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, වරාය පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

එමෙන්ම උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 11 වන දින කල්මුනේ තුඩුව මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස කැස්බෑවන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලනලද ජීවී කැස්බෑවන් දෙදෙනෙකු, ඕරාවා වර්ගයේ මසුන් කිලෝග්‍රෑම් 50 ක්, කුඩා වල්ලම් යාත්‍රාවක් සහ තහනම් දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, කැස්බෑවන්, මසුන් තොගය සහ තහනම් දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක ධීවර හා ජලජ සම්පත් වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වු උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ යාපනය පොලිසි විශේෂකාර්ය බලකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 11 වන දින ගුරුනගර් මාළු වෙළෙඳසැල ආසන්න වන ලැහැබක සඟවා සිටි කැස්බෑවන් තිදෙනෙකු (03) සොයාගෙන ඇත. ඒ අනුව සොයාගන්නා ලද කැස්බෑවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක ධීවර හා ජලජ සම්පත් වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය දෙසැම්බර් 12 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කරෙයිතිව් මුහුදු ප්‍රදේශයේදී ව්‍යාජ ධීවර අවසරපතක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලනලද මසුන් කිලෝග්‍රෑම් 374 ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයා, මසුන් තොගය සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 13 වන දින උප්පාරු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් අල්ලා තිබු යාත්‍රාවක් පාවෙමින් තිබියදී අත්අඩංගුවට ගෙන ඇත. එහිදී එම යාත්‍රව තුල තිබී මසුන් කිලෝග්‍රෑම් 171 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම යාත්‍රාව, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය දෙසැම්බර් 13 වන දින වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් රෝදාපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලනලද මසුන් කිලෝග්‍රෑම් 252 ක්, තහනම් දැලක් සහ ඩිංගි යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, මසුන් තොගය, යාත්‍රා සහ තහනම් දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 13 වන දින උච්චමුණි මුහුදු ප්‍රදේශයේදී ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 18 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලනලද මසුන් කිලෝග්‍රෑම් 115 ක්, ඩිංගි යාත්‍රා 06 ක්, තහනම් දැල් 08 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, මසුන් තොගය, යාත්‍රා, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය දෙසැම්බර් 08,10 සහ 13 යන දිනයන්හීදී මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුරසංචාරයන්හී නිරත වූ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් නීති විරෝධී දැල් 39 ක් සහ කැනෝයි වර්ගයේ ධීවර යාත්‍රා 02 ක් සොයාගෙන ඇති අතර, එම දැල් සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.