68 වන නාවික හමුදා සංවත්සරය හවායි හීදී උත්කර්ෂවත් අයුරින් සමරයි
 

ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාවට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් විසින් පසුගිය දෙසැම්බර් 09 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදා 68 වන සංවත්සරය ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, 68 වන නාවික හමුදා සංවත්සරයට සමගාමීව පසුගිය දෙසැම්බර් 08 වන දින හවායි හී පිහිටි ජාත්‍යයන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානය හා ඒ අවට පරිසරය පිරිසිදු කර, එම ගොඩනැගිලි වල තීන්ත ආලේප කිරීමට කටයුතු කර ඇත. තවද, ශ්‍රී ලාංකිකයින් විසින් හවායි දුපතේ සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති ප්‍රථම අවස්ථාව වූ අතර, ‍භාවනා මධ්‍යස්ථානය භාරව කටයුතු කරනු ලබන පුජ්‍ය ඥානසාර ස්වාමින් වහන්සේ සහ පුජ්‍ය සුමන ස්වාමීන් වහන්සේ මෙම සත් ක්‍රියාව සිදු කිරීම පිළිබඳව ඇගයිමට ලක් කර නෞකාවේ අණදෙන නිලධාරි සහ විධායක නිලධාරිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ආශිර්වාද සිදු කරන ලදී.

නාවික දිනයට සමගාමිව පසුගිය දෙසැම්බර් 09 වන දින සම්ප්‍රදායානුකූලව නෞකාවේ විධායක නිලධාරිතුමා‍ගේ අංශ පිරික්සීම සිදු කිරීමෙන් අනතුරුව විධායක නිලධාරිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාධිපතිතුමාගේ නාවික දින පණිවුඩය ප්‍රකාශයට පත් කළ අතර, පසුව එතුමාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා සම්ප්‍රදායානුකූල භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා හවායි හී නිල සංචාරයක නිරතව සිටී නාවික හමුදාධිපතිතුමාගේ ලේකම්, කපිතාන් (සැපයුම්) අචල ද සිල්වා මහතා ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්‍ෂක බලකායට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරි පිරිසක් සහභාගිවි සිටියහ.

‍තවද, මෙම නෞකාව 2019 පෙබරවාරි මස ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට නියමිත අතර, මේ වනවිට නෞකාවේ නැව් මුළුව ඒ සඳහා සුදානම් වෙමින් සිටි.