නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 05 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 05 ක් නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වීම, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් මැරීම සහ වැලි ගොඩ දැමීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, ගාල්ල, සහකාර ධීවර අධ්‍යක්‍ෂකගේ දැනුම් දිමකට අනුව වහාම ක්‍රියාත්මක වූ දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 04 වන දින රූමස්සල වෙරළතීරය ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 15ක්, වෝටර්ජෙල් පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක්, විදුලිනොවන ඩෙටනේටර් 01ක් සහ කැනෝයි වර්ගයේ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, අල්ලන ලද මසුන් තොගය, පුපුරණ ද්‍රව්‍ය සහ යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා හබරාදූව, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය දෙසැම්බර් 05 වන දින උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් වංකාලේ වෙරළ ප්‍රදේශයේදී මස් පිනිස මරා දමා ගොස් තිබූ කැස්බෑ මස් කිලෝග්‍රෑම් 24 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා වංකාලේ, වන සංරක්‍ෂණ නිලධාරී වෙත භාර දීමට කටයුතු කරන ලදී.

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය දෙසැම්බර් 07 වන දින පලෙයිතිව් දූපතේ දකුණු වෙරළ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී වැලි උර 57 සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, වැලි උර සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය දෙසැම්බර් 08 වන දින දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කුඩාවැල්ල ධීවර වරායේ නීති විරෝධී ධීවර ලෙස කටයුතුවල නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා තංගල්ල, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.