ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 68 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රට වැට බැදි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය අදට (‍දෙසැම්බර් 9) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් සිදු කරනු ලබන වැඩසටහන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් සංවිධානය කරන ලදී.

ඒ අනුව, නොවැම්බර් මස 30 වන දින අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති නාවික ධජයන්ට සෙත්පැතීමේ ධජ පූජාව සහ කප්රුක් පූජාව සමගින් ආරම්භ කරන ලද ආගමික වැඩසටහන් මාලාවේ ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේ ද, මුස්ලිම් ආගමික උත්සවය කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ ද, හින්දු ආගමික උත්සවය කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී ද පැවැත්විණි.

දෙසැම්බර් මස 01 වන දින වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියස දී දේශය වෙනුවෙන් සිය ජීවිත පුද කළ නාවික රණවිරුවන්හට, ඔවුන්ගේ පවුල්වල සාමා‍ජිකයන්ගේ සහාය ද ඇතිව පහන් දල්වා පුණ්‍යානුමෝදනා කිරීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා ඇතුළු සියළුම නාවික හමුදා පුද්ගලයින්හටත් ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්හටත් සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සහ පසුදින ගරුතර මහා සංඝරත්නය හැටඅට නමක් විෂයෙහි දානමය පිංකමක් සිදු කරන ලදී.

තවද, ඊයේ (දෙසැම්බර් 08) සහ අද (දෙසැම්බර් 09) යන දෙදින තුල ‍ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් අභියසදී ගිලන්පස සහිත බුද්ධ පූජාවක් පැවැත්වීමට ද කටයුතු කෙරිණි. නාවික හමුදාධිපතිතුමන් විසින් අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ මහානායක හිමිවරුන් බැහැදකිමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී උත්තම ශ්‍රී දන්ත දාතූන්වහස්සේ උදෙසා පූජාවක්ද ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීම ද සිදු විය. මෙම අවස්ථාවන් සඳහා ‍නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, නාවික විධානයන් භාර ආඥාපතිවරුන්, අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද එක්වී සිටියහ.

මිට සමගාමිව සියළුම නාවික විධානයන්හි සර්ව ආගමික කටයුතු, ප්‍රජා සත්කාරක සහ සමාජ සුභසාධන වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබුණි.


බටහිර නාවික විධානයේ සැමරුම් උත්සවය


වයඹ නාවික විධානයේ සැමරුම් උත්සවය


උතුරු නාවික විධානයේ සැමරුම් උත්සවය


ගිණිකොණ නාවික විධානයේ සැමරුම් උත්සවය


උතුරු මැද නාවික විධානයේ සැමරුම් උත්සවය


නැගෙනහිර නාවික විධානයේ සැමරුම් උත්සවය


දකුණු නාවික විධානයේ සැමරුම් උත්සවය