ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
 

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 58 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 34 දෙනෙකු සහ 56 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 02 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු පසුගිය දෙසැම්බර් 07 වන දින අධිකාරියට පත් කරන ලදී. ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්වූ ඉතා විචිත්‍රවත් අධිකාරියට පත් කිරීමේ උළෙලකින් පසු ඔවුන් විසිර යන ලද අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගී විය.

ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යා‍ගමික පූජකවරුන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යා‍ලයේ උප කුලපති සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා, නැගෙනහිර නාවික ප්‍රදේශභාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස මහතා ඇතුළු නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික ප්‍රදේශභාර ආඥාපතිවරුන්, නාවික හමුදා මුලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමාපියන් මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා සහභාගීවී සිටියහ.

පුහුණුවීම් කාල සීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන් හට එහිදී විශේෂ සම්මාන ප්‍රදානය කෙරිණි. ඒ අනුව, 58 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් දක්ෂතම මධ්‍ය නිලධාරියා සහ සියළුම විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියා මෙන්ම වෘත්තීය විෂයයන්ගෙන් වැඩිම ලකුණු සහ ජල තරණ විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත සහ කුසලාන මධ්‍ය නිලධාරී ඩීඑම්පීබී අබේසේකර හිමි කර ගන්නා ලදී. දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරි එච්ඒඑම් සිල්වා හිමි කර ගත් අතර, මධ්‍ය නිලධාරි බීඒ විජේවික්‍රම හොඳම ඉලක්කකරුට හිමි සම්මානය හිමි කර ගන්නා ලදී.

අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ ආරක්‍ෂක ලේකම්තුමා, මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවයට අරාධනා කිරීම තමාට ගෞවරයක් බව ප්‍රකාශ කර සිටි අතර, අධිකාරියට පත් වන ලද නිලධාරීන් හට සිය සුභාසිංෂණ පිරිනැමීමට කටයුතු කරන ලදී. තව දුරටත් අදහස් දැක්වූ එතුමන් මාතෘ භූමිය රැකගැනීම වෙනුවෙන් නාවික හමුදාව වෙත තම දරුවන් යොමු කරවීම පිළිබඳව එම දෙමාපියන් හටද ස්තූතිය පුද කර සිටින ලදි.

නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින් සහ නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනයකින් අනතුරුව නාවික සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත් විය. අධිකාරියට පත් නිලධාරීන් 36 දෙනා අතරට විධායක අංශයට නිලධාරින් 20 දෙනෙක්, ඉංජිනේරු අංශයට 03 දෙනෙක්, සැපයුම් අංශයට 06 දෙනෙක්, විදුලි සහ විද්‍යුත් අංශයට 03 දෙනෙක් සහ විනයාරක්‍ෂක අංශයට 04 දෙනෙකු ඇතුළත් විය.