අභිනවයෙන් ඉදි කළ ‘මිහින්තලය නාවික නිකේතනය’ විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය දෙසැම්බර් 02 සහ 03 යන දෙදින තුළ උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා විසින් නාවික හමුදාධිපතිතුමා පිළිගන්නා ලදි.

ඒ අනුව, නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් මිහින්තලය ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද ‘මිහින්තලය නාවික නිකේතනය’ නාවික හමුදාධිපතිතුමාගේ සුරතින් පසුගිය දෙසැම්බර් 02 වන දින විවෘත කරන ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කිරීමද නාවික හමුදාධිපතිතුමා විසින් සිදු කරන ලදී. මෙම නිවාඩු නිකේතනය ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ මුල්‍ය දායකත්වය යටතේ ඉදි කර ඇති අතර, එහි ශ්‍රම දායකත්වය නාවික හමුදාව සපයා ඇත.

තවද, නාවික හමුදා පුහුණු කිරීමේ ආයතනයක් වන ශ්‍රි ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ අධ්‍යයන ගොඩනැගිල්ල විවෘත කිරීම ද එදිනම නාවික හමුදාධිපතිතුමා විසින් සිදු කෙරුණි. මෙම අවස්ථාවන් සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් රැසක් සහභාගිවි සිටියහ.


‘මිහින්තලය නාවික නිකේතනය’ විවෘත කිරීම


ශ්‍රි ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ අධ්‍යයන ගොඩනැගිල්ල විවෘත කිරීම