නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 08 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 08 ක් නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වීම සහ ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් 27 වන දින සවුත්බාර් ප්‍රදේශයේදී ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 352 ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.  එම පුද්ගලයින්, අල්ලන ලද මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය නොවැම්බර් 27 වන දින දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී ඩිංගි යාත්‍රාවක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් 28 වන දින නවක්කාඩු ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබී තහනම් දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයා තහනම් දැල ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය නොවැම්බර් 29 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කෝකිලායී කළපු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබී තහනම් දැල් 03 ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, තහනම් දැල් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පුල්මුඩේ, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය දෙසැම්බර් 01 වන දින උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් වංකාලෙයිපාඩු ප්‍රදේශයේ දී සඟවාතිබු සැක කටයුතු පාර්සලයක් සොයාගෙන ඇති අතර, එහි තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 85 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය , රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.