නාවික හමුදාව විසින් අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

පසුගිය නොවැම්බර් 27 වන දින ගාලු ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “ ෂාන් පුතු II” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (දෙසැම්බර් 01) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කළ අතර, හම්බන්තොට වරායේ සිට නාවික සැතපුම් 29.5 ක් පමණ දුරකදී රෝගියා වේග ප්‍රහාරක මුර යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව, රෝගියා හට ප්‍රථමාධාර පහසුකම් ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. ඉන් අනතුරුව ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට මූලික රෝහල වෙත ඇතුලත් කෙරිණි.