අනතුරටපත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් 19 වන දින කොඩ්බේ වරාය පරිශ්‍රයේදී අනතුරට පත් ජයාවි IV’ නම් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

කොඩ්බේ වරාය පරිශ්‍රයේදි මෙම ධීවර යාත්‍රාවට අයිස් පිරවිමට යාමේදි යාත්‍රාවේ නියමුවාට යාත්‍රාව පාලනය කර ගත නොහැකිව පැත්තට ඇලවී ඇති බව නාවික හමුදාවට දැනුම් දී ඇති අතර, ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම යාත්‍රාව වෙත නාවිකයින් පිටත් කර යැවිමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව නාවිකයින් සහ ධීවරයින් විසින් යාත්‍රාව තුළ සිටි ධීවරයෙකු ආරක්ෂාකාරී ලෙස මුදවා ගැනීමෙන් පසු ත්‍රිකුණාමලය මහ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරන ලදී.

තවද, මෙම අනතුර හේතුවෙන් කොඩ්බේ ධීවර වරාය පරිශ්‍රය ආශ්‍රිතව තෙල් එක් රැස්වීමක් නිරික්‍ෂණය කරන ලද අතර, එම තෙල් ඉවත් කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව අනතුර හේතුවෙන් මුහුදට මුසුවි තිබූ තෙල් ලිටර් 350 ක ප්‍රමාණයක් දැඩි පරිශ්‍රමයක් යොදා ඉවත් කිරීමට කටයුතු කරන ලදී.