නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 31 ක් නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම සහ කඩොලාන පරිසරය විනාශ කිරීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් 11 වන දින සිලාවතුර ප්‍රදේශයේදී රාත්‍රී කිමිදුම් ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 16 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2579 ක් ඩිංගි යාත්‍රා 06 ක් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, අල්ලන ලද මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය නොවැම්බර් 13 වන දින උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සවුත්බාර් ප්‍රදේශයේදී රාත්‍රී කිමිදුම් ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 06 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 243 සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, අල්ලන ලද මසුන් තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, පසුගිය නොවැම්බර් 14 වන දින උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමඟ සම්බන්ධවී ගුරුනගර් ජැටිය ආසන්න ප්‍රදේශයේ මාළු දැලක් තුළ සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය (TNT / C4) කිලේග්‍රෑම් 2 යි ග්‍රෑම් 196 ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, එම අධීබලැති පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිසිය වෙත භාර දෙන ලදී.

පසුගිය නොවැම්බර් 14 වන දින උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් අච්චානාකුලම් මුහුදු වෙරළ ප්‍රදේශයේදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබූ ශාඛ කැපීමට භාවිතා කළ පිහිය, ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයා, පිහිය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර, අඩවි වන නිලධාරී වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය නොවැම්බර් 16 සහ 17 යන දිනයන්හීදී මඩකලපුව කලපු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 08 අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 30 ක්, කැනොයි වර්ගයේ ධීවර යාත්‍රා 04 ක් සහ තහනම් දැල් 10 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, අල්ලන ලද මසුන් තොගය, ධීවර යාත්‍රා සහ තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව , සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.