රියර් අද්මිරාල් උදය සුමනසේකර මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් (නාවික හා ගුවන් මෙහෙයුම්) වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් උදය සුමනසේකර මහතා සිය වසර 34 ක නාවික සේවය නිමා කරමින් අද දින (නොවැම්බර් 03) විශ්‍රාම යන ලදී.

එතුමාගේ 55 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කළහ. ඉන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් සුමනසේකර මහතා වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.

1984 වර්ෂයේදී 12 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සුමනසේකර මහතා මීට පෙර දකුණු සහ ගිණිකොන නාවික විධානයන් භාර නියෝජ්‍ය ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික අවි, අධ්‍යක්‍ෂ නාවික පරිපාලන, වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිනි අවි සහ පතරොම් මිලදි ගැනීමේ ඒකක‍යේ අධ්‍යක්ෂ ආදී විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.