ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඔක්තෝබර් 22 වන දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ වෙයි
 

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නව වන වරටත් සංවිධානය කරනු ලබන 2018 ගාලූ කථීකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ඔක්තෝබර් මස 22 සහ 23 යන දිනයන්හිදි පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. මෙවර සමුළුව රටවල් 50 ක සහ ජාත්‍යන්තර සංවිධාන 17 ක දෙස් විදෙස් නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් ‘සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමණාකරණය සඳහා ඒකාබද්ධ වීම’ යන තේමාව යටතේ පැවැත්වේ. සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවන අතර, එහි සමාරම්භක දේශනය අතිගරු ජනාධිපතිතුමා විසින් සිදු කරනු ලබයි. නාවික ප්‍රධානීන් 03 දෙනෙකු ඇතුළු විදෙස් නියෝජිතයින් 140 කට අධික පිරිසක් මෙවර සමුළුව සඳහා සහභාගීවිමට නියමිත අතර, සමුළුවේ තේමාවට අදාලව දෙස් විදෙස් නියෝජිතයින් සිය නිබන්ධන ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි.

සෞභාග්‍ය සඳහා මංපෙත් විවර කරගත හැකි සම්පත් රාශියක් සාගරය සතුව පවතී. එම සම්පත් නිවැරදි භාවිතය, සියළු ජාතීන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ඒවා යොදා ගැනීම, කලාපීය ආරක්‍ෂාව සඳහා සාගර සම්පත්වල ඇති වැදගත්කම, ශ්‍රී ලංකා ආර්ථිකයේ පැවැත්ම හා ලෝක සාමය සඳහා එම සම්පත්වල ඇති උපයෝගිත්වය සහ සියළුම පාර්ශවයන් හට එක්ව කටයුතු කිරීම සඳහා ද්විපාර්ශවික මෙන්ම බහුපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම ඇතුළු කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්‍ෂිතය. ආරක්‍ෂක අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම සමු‍ළුව නාවික හමුදාවන්ට පොදු වූ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ වටිනා දැනුම් සම්භාරය හා සුවිශේෂි අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව උදා කර ඇත. නාවික හමුදාව සෑම වසරකම වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙමින් සංවිධානය කරනු ලබන ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඒ සඳහාම ආවේනික වූ විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ විද්වත් අදහස් හුවමාරු කර ගන්නා සංවාද මණ්ඩපයකි.

අතිගරු ජනාධිපතිතුමාගේ දුරදර්ශී නායකත්වය යටතේ වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මෙන්ම කලාපීය මුහුදු තීරයේ ද ආරක්‍ෂාව තහවුරු කිරීම සහ කලාපීය නාවික හමුදාවන් ඇතුළු ලෝකයේ අනෙකුත් නාවික හමුදාවන් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට මෙම සමුළුව තුළින් මනා පිටිවහලක් ලැබේ.

‘සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමණාකරණය සඳහා ඒකාබද්ධ වීම’ යන තේමාව මුල් කර ගනිමින් කොළඹ, ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වෙන මෙවර සමුළුව තුලින් වත්මන් සාගරික අභියෝගයන් ජයගැනීම සහා ඵලදායී යාන්ත්‍රණයක් සකස් කර ගැනීම සඳහා මෙන්ම කලාපීය විද්වතුන්ගේ සාගරික ගැටළු රාශියකට පිළිතුරු සොයා ගැනීම සඳහා මං පෙත් සැළසෙනු ඇත.

ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයේ නවතම තොරතුරු www.galledialogue.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර, එම වෙබ් අඩවිය ඔස්සේ ඔක්තෝබර් 22 සහ 23 යන දෙදින තුළ මෙම සමුළුව සජීවීව නැරඹිමටද පහසුකම් සලසා ඇත.