සාර්ථක පුහුණු සංචාරයක් නිම කරමින් ශ්‍රීලංනානෞ සාගර සහ ශ්‍රීලංනානෞ සුරනිමිල නෞකාවන් දිවයිනට පැමිණෙයි
 

පසුගිය ඔක්තෝබර් 06 වන දින කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ සුරනිමිල යන නෞකාවන් ඔක්තෝබර් 08 වන දින ඉන්දියාවේ කොචින් වරායට සේන්දු වූ අතර, එහිදි, නාවික සම්ප්‍රදායානුකූලව ඉන්දියානු නාවික හමුදාව එම නෞකාවන් පිලිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් සුරේෂ් ද සිල්වා මහතා ද සහභාගී විය.

අනතුරුව ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් (සංඥා) ජනක නිස්සංක මහතා සහ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් චන්දිම සිල්වා මහතා ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානය භාර මාණ්ඩලික ප්‍රධානී, ‍රියර් අද්මිරාල් ඒකේ නාත්කරනි මහතා සහ ධජ නිලධාරි පුහුණු, ‍රියර් අද්මිරාල් කේ. ස්වාමිනාදන් මහතා ඇතුළු ඉන්දියානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමුවි සුහද පිළිසඳරක නිරත වූ අතර, කපිතාන් නිස්සංක මහතා ඉන්දියානු නාවික හමුදා ගුවන් නඩත්තු ඒකකයේ නිරික්‍ෂණ චාරිකා වාරයකටද සහභාගිවන ලදී.

තවද, ශ්‍රී ලංකා නාවික පුද්ගලයින් හට ඉන්දියාවේ සිටි කාලය අතරතුරදී එරට ජලතරණ පාසල, දියය‍ට සංග්‍රාමික පාසල, සංඥා පාසල සහ අවි පාසල ඇතුළු ඉන්දියානු නාවික හමුදා ගුවන් පාසල ආදි ඉතා සුවිශේෂි පුහුණු මධ්‍යස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව උදාවිය. එමඟින් ශ්‍රී ලංකා නාවික හමුදා පුහුණුවන නිලධාරින් හට තාක්‍ෂණික උපකරණ මෙන්ම නව ක්‍රමවේදයන් පිලිබඳව හඳුනාගැනිමට මහඟු පිටිවහලක් විය.

මිට අමතරව සංචාරය අතරතුරදී ඔවුන් නාවික පුහුණු අභ්‍යාසයන් කීපයක් ප්‍රගුණ කිරීමට ද අවස්ථාව උදා කරගත් අතර, ආපදා මර්ධනය සහ කාලගුණය පිළිබඳව පැවති වැඩසටහන් තුලින් පුහුණුවන නිලධාරින්ගේ දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව හිමිවිය. තවද, දෙරටේ නාවික හමුදා පුද්ගලයින්ගේ සංස්කෘතික ප්‍රදර්ශනයක් ද පැවැති අතර, එය දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ඇගයිමට ලක්වන ලදී. එමෙන්ම, දෙරටේ පුහුණුවන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පාපන්දු තරඟාවලියක් පැවැති අතර, එය පුහුණුවන නිලධාරින්ගේ හැකියාවන් විදහා දැක්වීමට මහඟු අවස්ථාවක් විය.

පසුගිය ඔක්තෝබර් 11 වන දින නෞකාවන් ද්විත්වය කොචින් වරායෙන් දිවයින බලා පිටත්වූ අතර, එහිදි ඉන්දියානු නාවික නෞකා ශාර්ධා නෞකාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයකට සහභාගිවිය. ඒ අනුව, ඒකාබද්ධ නෞකා හැසිරවිම, සැක කටයුතු නෞකා පරික්‍ෂණය, සංඥා හැසිරවිම සහ ආචාර සමාචාර සිදු කිරීම සිදු කරන ලදි. ඒ අනුව, නොකාවන් ද්විත්වය සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් පසුගිය ඔක්තෝබර් 12 වන දින කොළඹ වරායට සේන්දු විය.