රියර් අද්මිරාල් හේමචන්ද්‍ර කුලරත්න මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ නාවික දන්ත වෛද්‍ය සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් හේමචන්ද්‍ර කුලරත්න මහතා සිය 27 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (ඔක්තෝබර් 10) විශ්‍රාම යන ලදී.

එතුමාගේ 60 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කළහ. ඉන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් කුලරත්න මහතා වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.

1991 වර්ෂයේ ඉදුරාම බඳවා ගැනීමට අයත් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් කුලරත්න මහතා මීට පෙර විධාන දන්ත වෛද්‍ය නිලධාරි (නැගෙනහිර), විධාන දන්ත වෛද්‍ය නිලධාරි (බටහිර) සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික දන්ත වෛද්‍ය සේවා ආදි වූ නාවික හමුදාවේ විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.