නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 30 වන දින සහ ඔක්තොබර් 01 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 22 ක් සොයාගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

උතුරු මැද නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ඔක්තෝබර් 02 වන දින තාල්පාඩු ප්‍රදේශයේදී නීතිවිරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 200 ක්, තහනම් දැලක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, අල්ලන ලද මසුන් තොගය, තහනම් දැල සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ඔක්තෝබර් 02 වන දින පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 138 ක්, තහනම් දැල් 02 ක් සහ ඩිංගි යාත්‍රාවක් සල්ලී සාම්පල්තිව් ප්‍රදේශයේදී සොයාගෙන ඇත, සොයා ගන්නා ලද මසුන් තොගය, තහනම් දැල් සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය ඔක්තොබර් 03 සහ 04 වන දිනයන් හීදී නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 26 ක් සොයාගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ තන්ඩියාඩි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව පසුගිය ඔක්තොබර් 05 වවුනතිව් ප්‍රදේශයේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී පඳුරක් යට සඟවා තිබූ SFG 87 වර්ගයේ අත් බොම්බයක් සොයාගන්නා ලද අතර, සොයාගන්නා ලද අත් බෝම්බය ඉදිරි නීතිමය කටයුතු සඳහා තන්ඩියාඩි පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වෙත භාර දීමට කටයුතු කරන ලදී.