ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරගාවලිය - 2018
 

2018 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන බැඩ්මින්ටන් තරඟාවලිය 2018 ඔක්තෝබර් මස 01 වන දින සිට 05 වන දින දක්වා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨ බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී. මෙම තරඟාවලිය වසර 14 කින් පසු ත්‍රිකුණාමලය ආශ්‍රිතව පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 125 දෙනෙකු සහභාගී වූහ.

තවද, මෙම තරඟාවලියේ අවසන් දවස වූ පසුගිය 05 වන දින තරඟය නැරඹිම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා එක්වූ අතර, ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ද එතුමන් සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා, නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නොයෙල් කළුබෝවිල මහතා සහ නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති කළණ ජිනදාස මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගිවි සිටියහ.

තරඟාවලියේ පිරිමි ශූරතාවය නාවික දියත් විධානය හිමිකර ගැනීමට සමත් වූ අතර, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය හිමිකර ගැනීමට සමත් විය. විවෘත කේවළ පිරිමි අංශයේ කුසලානය ලුතිනන් පීවයිසී සුදීර හිමිකරගත් අතර, විවෘත යුගල පිරිමි අංශයේ කුසලානය ලුතිනන් පීවයිසී සුදීර සහ ලුතිනන් කොමාණ්ඩර් අසේල චන්ද්‍රසේකර හිමිකර ගැනීමට සමත් විය. එමෙන්ම, විවෘත කේවළ කාන්තා අංශයේ කුසලානය කාන්තා බල ශාරීරික අභ්‍යාසක ඒජිඒසී විජේරත්න හිමිකරගත් අතර, යුගල අංශයේ කුසලානය කාන්තා බල ශාරීරික අභ්‍යාසක ඒජිඒසී විජේරත්න සහ කාන්තා බල ශාරීරික අභ්‍යාසක ඩබ්ජිඑල්සී සේපාලිකා හිමිකර ගැනීමට සමත් විය.

තවද, වයස අවුරුදු 40 ට වැඩි කේවළ අංශයේ කුසලානය කොමාණ්ඩර් බුද්ධික ජයවිර හිමිකර ගත් අතර, එහි යුගල අංශයේ කුසලානය කොමාණ්ඩර් බුද්ධික ජයවිර සහ කපිතාන් නුවන් ගුණසේකර හිමිකර ගැනීමට සමත් විය. වයස අවුරුදු 50 ට වැඩි කේවළ අංශයේ කුසලානය රියර් අද්මිරාල් සුමිත් විරසිංහ හිමිකරගත් අතර, එහි යුගල අංශයේ කුසලානය රියර් අද්මිරාල් සුමිත් විරසිංහ සහ කොමදෝරු කළණ ජිනදාස හිමිකර ගැනිමට සමත්විය. බැඩ්මින්ටන් අධූනික පිරිමි අංශයේ කුසලානය උප ලුතිනන් රණවන හිමිකරගත් අතර, එහි කාන්තා අංශයේ කුසලානය ලුතිනන් ඒසීඑස් ප්‍රනාන්දු හිමිකර ගන්නා ලදි.