වයඹ නාවික විධානයේ නව රෝහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ
 

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ ස්ථාපිත නාවික රෝහල් (වයඹ) සංකීර්ණයේ අභිනවයෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සූජීව පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්තෝබර් 01) විවෘත කෙරිණි. ‍

මෙම ඉදිකරන ලද ‍නව රෝහල් ගොඩනැගිල්ල බෝවන රෝගීන් වෙන්කර තබන වාට්ටුවක් ඇතුළුව භෞත චිකිත්සක දෙපාර්තමේනතුව, මහජන සෞඛ්‍ය පරීක්ෂක දෙපාර්තමේන්තුව, උපදේශන නිලධාරි කාමරය සහ වෛද්‍ය සහායක විවේක කාමරයකින් සමන්විතය. මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ විධායක නිලධාරි, කොමාණ්ඩර් (නාසෙ) හේමන්ත දන්තසිංහ මහතා සහ වැඩ බලන විධාන වෛද්‍ය නිලධාරි (වයඹ), වෛද්‍ය ලුතිනන් ලක්ෂිත කරුණාතිලක මහතා ඇතුළු වයඹ නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගී විය.