විනිශ්චයකාරවරුන් සඳහා දකුණු නාවික විධානයේ වැඩමුළුවක් පවත්වයි
 

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සංවිධානය කරන ලද නීත්‍යානුකූල නොවූන, වාර්තාගත නොවූ සහ අවිධිමත් මසුන් ඇල්ලීම (IUU Fishing) පිළිබදව විනිශ්චයකාරවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය සැප්තැම්බර් 29 වන දින දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු නාවික විධාන මූලස්ථාන ශ්‍රවණාගාර‍යේදී පැවැත්විණි.

මේ වැඩමුළුව සඳහා දිවයින පුරා අධිකරණවල සේවය කරන දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන් පිරිසක් සහභාගී වූ අතර, එම වැඩමුළුවෙන් අනතුරුව නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වන පුද්ගලයින් හදුනාගෙන නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් විනිසුරුවරුන් හට ලබාදීම ශ්‍රී ලංකා නාවික නෞකා ‘ජයසාගර’ නෞකාවේදී සිදුවිය.

මෙම වැඩමුළුව පැවැත්විම සඳහා දකුණු නාවික ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පුහුණු විධායක සහ අණදෙන නිලධාරි, කපිතාන් සංජිව පෙරේරා මහතා, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ මෙහෙයුම්, කපිතාන් වයිආර් සේරසිංහ මහතා, විධාන මෙහෙයුම් නිලධාරි (දකුණු), කොමාණ්ඩර් සම්පත් ජයමුණි මහතා, ගාල්ල ධීවර අධ්‍යක්‍ෂක සහ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නීති නිලධාරි ඇතුළු එහි නියෝජිතයින් පිරිසක් සහභාගිවී සිටියහ.