කකාඩු -2018 නාවික අභ්‍යාසයට සහභාගීවූ ‘සිඳුරළ’ නෞකාව දීර්ඝ මුහුදු ගමනකින් පසු යලි දිවයිනට
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU-2018) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පසුගිය අගෝස්තු 20 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව සාර්ථක ලෙස නාවික අභ්‍යාසය නිමා කරමින් නාවික ඉතිහාසයේ දීර්ඝතම මුහුදු ගමනකින් පසු ඊයේ (සැප්තැම්බර් 24) දිවයිනට ලඟා වූ අතර, මෙම සංචාරය තුළ ‘සිඳුරළ’ නෞකාව නාවික සැතපුම් 6646 ක් ආවරණය කර ඇත. නෞකාව කොළඹ වරායට සේන්දුවිමෙන් පසු නාවික සම්ප්‍රදායානුකූලව වරාය පරිශ්‍රය වෙත පිළිගැනීමට කටයුතු කෙරුණි.

බහුපාර්ශවික කකාඩු පුහුණු අභ්‍යාසය පසුගිය අගෝස්තු මස 30 වන දින සිට සැප්තැම්බර් මස 16 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ ඩාවින් මුහුදු තීරය ආශ්‍රිතව පැවැත්වූ අතර, මෙම නාවික අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වූයේ මුහුදු කලාපයේ පුහුණුව සහ සහයෝගීතාවය තුළින් කලාපීය හවුල්කරුවන් අතර සම්බන්ධතාවය සහ අවබෝධය වැඩි කිරීමයි. තවද, එහිදී නෞකා හැසිරවීමේ අභ්‍යාස, නෞකා සමුහයක් වශයෙන් ස්ථානගත කිරීමේ අභ්‍යාස, ගුවන් ප්‍රති ප්‍රහාර දැක්වීමේ වෙඩි අභ්‍යාස, නෞකා අතර භාණ්ඩ හුවමාරු කිරීමේ හා නෞකා සමුහයක් ලෙස නැංගුරම් ලෑමේ අභ්‍යාස සිදු කරන ලදී. එමඟින් විදේශිය නාවික හමුදාවන් සමඟ අන්න්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබුනු අතර, ඒතුළින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.

තවද, මෙම පුහුණු අභ්‍යාසය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව මඟින් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව ද දායකත්වය සපයනු ලැබීය. ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, බෲනායි, චිලී, කැනඩාව, චීනය, ෆීජි, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මලයාසියාව, නවසීලන්තය, පකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිලන්තය, එක්සත් අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය සහ වියට්නාමය යන රටවල් ඇතුළුව රටවල් 27 ක නාවික හමුදාවන් මෙම නාවික අභ්‍යාස සඳහා එක් වීය. තවද, ඒ සඳහා නාවික හමුදාවන්ට අයත් නෞකාවන් 24 ක් සහ ගුවන් යානා 21 ක් ද සහභාගී වන ලදී.

මෙම අභ්‍යාසය හුදෙක්ම මුහුදු අභ්‍යාසයක්ම පමණක් නොවු අතර, විවිධ වැඩසටහන් වලින් සමන්විත වීය. එම වැඩසටහන් අතුරින් විශේෂ ක්‍රීඩා වැඩසටහන, මැරතන් ධාවන තරඟය, පිහිණුම්, ගොඩබීම් බාධක තරඟ, දිය බාධක තරඟ, කායක් ඔරු තරඟ සහ ඒ ඒ රටවල සංස්කෘතික අංගයන් ඉදිරිපත් කිරීමටත් කටයුතු යොදා තිබුණි. එමඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දස්කම් විදහා දැක්වීමට හැකිවු අතර, ක්‍රිඩා ඉසව්වලින් සිඳුරළ කණ්ඩායම තෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය.