අන්තර් විධාන ගොඩබිම් මෙහෙයුම් තරඟාවලියේ සමස්ථ ශුරතාව උතුරු මැද නාවික විධානය හිමිකර ගනි
 

විශේෂ මෙහෙයුම් පාඨමාලාවන් සහ මුලික ගොඩබිම් පුහුණු පාඨමාලාවන් හැදෑරූ නාවික පුද්ගලයින් ඇගයිමට ලක් කිරිමත් ඒ තුලින් ආත්ම විශ්වාසයකින් යුතුව රාජකාරි ඉටු කිරිම සඳහා වෘත්තිමය නිපුණතාවක් ඇති නිළධාරින් සහ නාවිකයින් බිහි කිරීමේ අරමුණින් දින 10 ක් පුරා පැවති මෙම තරඟාවලිය සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරමින් නිලධාරින් 14 ක් සහ නාවිකයින් 238 දෙනෙකු සහභාගී වන ලදී.

පසුගිය සැප්තැම්බර් 21 වන දින මෙම තරඟාවලියේ අවසන් දින ත්‍යාග ප්‍රධානෝත්සවය ශ්‍රි ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ වෙඩි පිටියේදී පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. එහිදී මුලික ගොඩබිම් මේහෙයුම් තරඟාවලියේ දක්‍ෂතම වෙඩික්කරුවාට හිමි කුසලානය උතුරු මැද නාවික විධානය නියෝජනය කළ ආධුනික නැවි ඩිපී ප්‍රියරත්න විසින්ද, වි‍ශේෂ මේහෙයුම් තරගාවලියේ දක්‍ෂතම වෙඩික්කරුවාට හිමි කුසලානය උතුරු මැද නාවික විධානය නියෝජනය කළ වෛද්‍ය සහයක ආර්ඒඑස් නිරෝෂන් විසින්ද දිනාගන්නා ලදී. ඒ අනුව, මෙම තරඟාවලියේ සමස්ථ ශුරතාව උතුරු මැද නාවික විධානය හිමිකර ගත් අතර, අනුශුරතාවය බටහිර නාවික විධානය විසින් හිමිකර ගැනිමට සමත් විය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා, ආඥාපති නාවික පාබල සහ අධ්‍යක්‍ෂ නාවික මැරීන්, රියර් අද්මිරාල් උදේනි සේරසිංහ, අධ්‍යක්ෂ නාවික ගොඩබිම් මෙහෙයුම් කොමදෝරු ෆ්‍රෙඩ් සෙනවිරත්න, උතුරු මැද ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සනත් උත්පල, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති කපිතාන් අශෝක විජේසිරිවර්ධන ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිළධාරින් හා නාවිකයන් විශාල පිරිසක් සහභාගි විය.