බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත මණ්ඩලය නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරතවේ‍
 

ශ්‍රී ලංකාවට පැමිණි බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාල දූත මණ්ඩලයේ ප්‍රධානී, රියර් අද්මිරාල් මුහම්මද් අන්වරුල් ඉස්ලාම් මහතා ඇතුළු 23 දෙනෙකුගෙන් සමන්විත දූත මණ්ඩලය ඊයේ (සැප්තැම්බර් 19) නැගෙනහිර නාවික විධානයේ  සංචාරයක නිරත විය. එහිදී නැගෙනහිර නාවික විධාන භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු  නන්දන ජයරත්න මහතා විසින් ඔවුන් නැගෙනහිර නාවික විධානය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදි.

අනතුරුව, පැමිණි දූත පිරිස , නැගෙනහිර ප්‍රදේශ භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවී සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.පසුව නැගෙනහිර නාවික විධාන මූලස්ථාන සම්මන්ත්‍රන ශාලාවේදී පැමිණි දූත පිරිස සමග ආරක්‍ෂක හා අධ්‍යාපනික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කෙරිණී.

මෙම දූත පිරිස බංගලාදේශය, ඉන්දියාව, නයිජීරියාව, ටැන්සානියාව යන රටවල් වල ආරක්‍ෂක අංශයේ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත විය. තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා සහභාගිවී සිටියහ.