ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු පාඨමාලාව සාර්ථකව නිමා කෙරේ
 

ඒකාබද්ධ සාගරික නිපුණතා පුහුණු (Integrated Maritime Skills Training) පාඨමාලාව සාර්ථකව අවසන් කළ නාවික පුද්ගලයින් හට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (සැප්තැම්බර් 14) ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්විණි. නාවික දියත් විධානයේ කපිතාන් මුහුදු පුහුණු, කපිතාන් නේවිල් උබේසිරි මහතා, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කපිතාන් අරුණ වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගිවී සිටියහ.

මෙම පාඨමාලාව සති 02 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැති අතර,  එහිදී ප්‍රශ්ණ කිරීමේ ශිල්පීය ක්‍රම, මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම,  බලය භාවිතය, මත්ද්‍රව්‍ය පරික්‍ෂාව, මෙහෙයුම් සැලසුම් සහ සෙවිමේ ශිල්පිය ක්‍රම  පිළිබඳව දැනුමක් ලබා දීමට කටයුතු කරනු ලැබීය. මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයට අනුයුක්ත නාවික පුද්ගලයින් 16 දෙනෙකු සහ විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවිකයින් 16 දෙනෙකු ඇතුළුව නාවික පුද්ගලයින්  32 දෙනෙකු සහභාගි විය. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ කාර්ය බලකා, එකාබද්ධ අන්තර් කාර්ය බලකායේ (බටහිර) නාවික පුද්ගලයින්ගේ වෘත්තීමය හැකියාව වර්ධනය කර ගැනීමටත් සාගරික අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ගේ දැනුම හුවමාරු කර ගැනීමටත් මෙම පුහුණු පාඨමාලාව මඟින් අවස්ථාව උදාවිය.

ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාපයේ කාර්ය බලකා, එකාබද්ධ අන්තර් කාර්ය බලකාය (බටහිර) විසින් ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට ක්‍රියාත්මක කරන ලද මෙම පුහුණුව ශ්‍රී ලංකා නාවික හමුදාව ඇගයිමට ලක් කරන ලද අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.