“හද‍ට හදක්” භාරකාර අරමුදලට නාවික හමුදාව සිය දායකත්වය සපයයි
 

හදවත් රෝගවලට ගොදුරුවී සිටින, එම සැත්කම් සඳහා මුදල් සොයාගත නොහැකි ජනතාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති “හදට හදක්” භාරකාර අරමුදල සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළුම නාවික පුද්ගලයින් රුපියල් මිලියන  5 ක මුදලක්  පරිත්‍යාග කරන ලදී. ඒ අනුව ඊට අදාල ප්‍රේශණපත “හදට හදක්” භාරකාර අරමුදල වෙත නිල වශයෙන් භාර දීම ඊයේ (සැප්තැම්බර් 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපතිතුමාගේ සුරතින් අරමුදලේ සාමාජික විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා සහ විශේෂඥ වෛද්‍ය රාජිත වයි ද සිල්වා මහතා වෙත පිලිගන්වන ලදී.

නාවික හමුදාව සමාජීය සුභසාධන කටයුතු නිරන්තරයෙන් සිදු කරනු ලබන අතර, මෙම මුදල් පරිත්‍යාගය එහි තවත් එක් පියවරක් වශයෙන් හැඳින්විය හැක. ඒ අනුව, හදවත් රෝගයෙන් පෙළෙන වෛද්‍ය ප්‍රතිකාර සිදුකර ගැනීමට මුදල් අගහිඟකම් ඇති දිළිඳු ජනතාවට අත්වැලක් වන්නට නාවික හමුදාව තීරණය කළ අතර, ඒ වෙනුවෙන් සියළුම නාවික හමුදා පුද්ගලයින් අත්වැල් බැඳගනිමින් සිය වැටුපෙන් මුදලක් මෙම අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා “හදට හදක්” භාරකාර අරමුදලේ සාමාජික, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් ඩයස් මහතා, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, කොමදෝරු නිලන්ත හීනටිගල මහතා සහ අධ්‍යක්‍ෂ නාවික වෛද්‍ය සේවා (රෝග විනිශ්චය සහ නිවාරණය), කොමදෝරු, පුබුදු මාරඹේ මහතා සහභාගීවි සිටියහ.