මුහුදට මුසු වූ ‍තෙල් ඉවත් කළ නාවික හමුදා මෙහෙයුම
 

උස්වැටකෙයියාව මුහුදු තීරයේ ඇති ඉන්ධන නලයක පසුගිය සැප්තැම්බර් 08 වන දින තෙල් කාන්දුවීමක් සිදු වූ අතර, ඒ හේතුවෙන් දික්ඕවිට වෙරළ තීරය ආශ්‍රිතව තෙල් එක් රැස්වීමක් නිරික්‍ෂණය කරන ලදී. එම තෙල් ඉවත් කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මෙහෙයුමක් ආරම්භ කර වෙරළ තීරයට සහ ජලයට මුසුවි තිබූ තෙල් විශාල ප්‍රමාණයක්, දැඩි පරිශ්‍රමයක් යොදා ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

මුහුදට මුසුවි තිබූ තෙල් උස්වැටකෙයියාව වෙරළ තීරය ආශ්‍රිතව පැවැති අතර, එමඟින් එම පරිසර පද්ධතිය විශාල වශයෙන් හානි විය හැකි තත්ත්වයට පත්ව තිබුණි. සමුද්‍රීය සම්පත් මෙන්ම වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතීන් ආරක්‍ෂා කිරීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාව ඉතා කෙටි කාල සීමාවක් තුළ ‍මුහුදට මුසුවි තිබු තෙල් පරිසර හානිය අවම වන අයුරින් ඉවත් කර වෙරළ තීරය මෙන්ම ඊට අදාල පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලදී. මෙම තෙල් ඉවත් කිරීමේ මෙහෙයුම සඳහා ජපන් රජය මඟින් සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් වෙරළාරක්‍ෂක දෙපාර්තමෙන්තුව වෙත පරිත්‍යාග කළ නෞකාවන් වන ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නෞකා ‘සමාරක්‍ෂා’ සහ ‘සමුද්‍රරක්‍ෂා’ නෞකාවන් යෙදවිමට කටයුතු කෙරුණි. මෙම කාර්යය සඳහා නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක මෙන්ම යුද්ධ හමුදා සමාජිකයින් 300 කට අධික ප්‍රමාණයක් අනුයුක්ත කර තිබු අතර, මේ සඳහා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙන්ම ගුවන් හමුදාව ද සිය සහයෝගය දක්වනු ලැබීය.

ඒ අනුව, මෙම මෙහෙයුම අරම්භ කිරීමට ප්‍රථම වෙරළාරක්‍ෂක නෞකාවන්, නාවික හමුදා ඩ්‍රෝන කැමරා ඇතුළු අනෙකුත් උපාංග මෙන්ම ගුවන් හමුදාවට අයත් Y 12 ගුවන් යානය භාවිතා කර මුහුද ආශ්‍රිතව සහ වෙරළ ආශ්‍රිතව තෙල් විසිරි තිබු ආකාරය පිළිබඳව මුලික අධ්‍යනයක් සිදු කරන ලදී. අනතුරුව වෙරළ ආශ්‍රිතව තිබූ තෙල් මිශ්‍ර වැලි ඉවත් කර පොලිතින් උරවල බහාලිමට කටයුතු කරන ලදී. එමෙන්ම, මුහුදු ජලය මතුපිට විසිරි තිබූ තෙල් තට්ටුව බවුසර වෙත පොම්ප කිරීමට කටයුතු කළ අතර, එම තෙල් මිශ්‍ර වැලි සහ මුහුදු ජලය පරිසරයට හානි නොවන අයුරින් ඉවත් කිරීම සඳහා මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණය වෙත යැවිමට කටයුතු කරන ලදී. තවද, මුහුද ආශ්‍රිතව පිරිසිදු කිරීමෙන් පසු ඉතිරිව ‍තිබූ තෙල් ඉවත් කිරීම සඳහා තෙල් උරාගනු ලබන විශේෂිත රෙදි භාවිතා කර ඉවත් කිරීමට කටයුතු කෙරුණි. එමෙන්ම, වෙරළ සංරක්‍ෂණ ක්‍රියාවලිය සඳහා යොදා ඇති ගල් වැටිවල රැඳි තිබු තෙල් ඉවත් කිරීමටද කටයුතු කළ අතර, ඒ සඳහා අධි පීඩන ලෙස ජලය පොම්ප කර කැබලි රෙදි යොදා ගනිමින් එම ගල් වැටි පිරිසිදු කරන ලදී. ඒ අනුව, ආරක්‍ෂිත ක්‍රම උපයෝගි කරගනිමින් මුහුදු ජලය මතුපිට සහ වෙරළ ආශ්‍රිතව තිබූ තෙල් සම්පුර්ණයෙන් ඉවත් කර යථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදාව ඇතුළු අනෙකුත් ඒකකයන් මේ වන විට කටයුතු කර ඇත. මෙම කාර්යය සඳහා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට අනුයුක්ත විශේෂඥ දැනුමැති නිලධාරින්ගේ ස‍හයෝගය ලබා ගැනීමට ද කටයුතු කෙරුණි. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව තෙල් විසිරුම් මැඩලීමේ අභ්‍යාසයන් නිරන්තරයෙන් සිදු කිරීම තුළින් ලබා ගත් අත්දැකීම් හේතුවෙන් මෙම තෙල් කාන්දුවීමෙන් ඇතිවිමට තිබූ සමුද්‍රීය හා වෙරළ තීරය ආශ්‍රිත පරිසර හානිය ඉතා අවම කර ගැනීමට හැකි විය. ඉදිරියේදී ද මෙම වෙරළ සහ මුහුද ආශ්‍රිත ප්‍රදේශය නිරන්තරයෙන් නිරික්ෂණය කිරිමට නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමෙන්තුව කටයුතු කරනු ලබයි.

නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ක්‍ෂණිකව ක්‍රියාත්මකවිම තුළින් ප්‍රදේශයේ පරිසරයට සිදුවිමට ගිය විශාල හානියක් අවමකර ගැනීමට හැකියාව ලැබුණි. තවද, නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය එක්ව සමුද්‍රීය සම්පත් මෙන්ම වෙරළ ආශ්‍රිත පරිසර පද්ධතීන් ආරක්‍ෂා කිරීමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.