නාවික හමුදා 422 වන ප්‍රති ආශ්‍රැත යන්ත්‍රය වීර මොහාන් ජයමහ විදුහලට
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් ඊයේ (සැප්තැම්බර් 11) දින නිමාවට පත් විය. ඒ අනුව, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත යන්ත්‍රයක් දඹුල්ල, දඹුලුගම මප/ගලේ/වීර මොහාන් ජයමහ මහා විද්‍යාලයේදී උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතාගේ සුරතින් සිසු අයිතියට පත් කෙරුණි.

මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම අරමුණු කර ගනිමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ “මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි “සැමට සුවසෙත” සැලසෙන නිරෝගි සමාජයක් බිහිකිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුල්‍යමය හා ශ්‍රම දායකත්වය මත මෙම ප්‍රති ආශ්‍රැත යන්ත්‍රය ස්ථාපිත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත. මෙමඟින් පාසල් සිසුන් 1700 කට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි වනු ඇත. එමෙන්ම නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන් අංශ කිහිපයක් යටතේ සිදු කරනු ලබන අතර, මේ වන වි‍ට එම ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කර ඇත.

තවද, මිට සමගාමිව එම විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම ද සිදු කෙරුණි. එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුල්‍ය අනුග්‍රහය සපයන ලද්දේ ශ්‍රී ලංකා නාවික හමුදාව වන අතර, උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමාගේ අධික්‍ෂණය යටතේ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් සිය ශ්‍රම දායකත්වය සපයා ඇත. භාවිතයට නුසුදුසු තත්ත්වයේ තිබූ පරිගණක 10 ක අළුත්වැඩියා කටයුතු නාවික හමුදා තොරතුරු තාක්‍ෂණ අංශයට අනුයුක්ත නාවික පුද්ගලයින් සිදු කරන ලද අතර, මෙවැනි ප්‍රජා සත්කාරක සේවා සිදු කිරීම සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ සහ විද්‍යාලයේ විදුහල්පති මෙන්ම දෙමාපියන් ද සිය ප්‍රශංසාව නාවික හමුදාව වෙත පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධයේදී මියගිය රියර් අද්මිරාල් මොහාන් ජයමහ මහතාගේ බිරිඳ වන එම්. විනෝදා ජයමහ මැතිණිය, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් සුමිත්‍ර ෆොන්සේකා මහතා, ගලේවෙල ගුරු මධ්‍යස්ථානාධිපති ඩබ්ලිව්එම් විජේකෝන් මහතා, විද්‍යාලයේ විදුහල්පති එස්ඒපී ලීලාරත්න මහතා, විද්‍යාලයේ හිටපු විදුහල්පති ඒඑම්ඒජී ජයානන්ද මහතා ඇතුළු විද්‍යාල ගුරුභවතුන් , සිසුන් මෙන්ම දෙමාපියන් පිරිසක් ද සහභාගීවි සිටියහ.