නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත පුද්ගලයින් 24 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරත වීම, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර ධීවර කටයුතු සිදු කිරීම, නිධන් හැරීම සහ කල් ඉකුත්වු ඖෂධ අලෙවි කිරීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, පසුගිය අගෝස්තු 27 දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 11 ක් උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ අල්ලන ලද වර්ණ මසුන් (Colour Fish)12 ක්, ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැල් 03 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, මසුන් තොගය, ඩිංගි යාත්‍රාව සහ තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය අගෝස්තු 28 වන දින ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කල්මුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 06 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රා 02 ක් සහ තහනම් දැල් 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, ඩිංගි යාත්‍රා සහ තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔළුවිල්, සහකාර ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය අගෝස්තු 28 දින ලංකාපටුන ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 06 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රාවක්, තහනම් දැලක් සහ වෝටජෙල් කරල් 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, තහනම් දැල සහ වෝටජෙල් කරල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතූර්, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය අගෝස්තු 30 දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක්, සින්නවේලි ප්‍රදේශයේදී නිධන් හෑරීමට ගිය පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබු ත්‍රිවිල් රථයක්, යතුරුපැදියක් සහ නිධන් හැරීම සඳහා භාවිතා කළ උපකරන නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, ත්‍රිවිල් රථය, යතුරුපැදිය සහ අනෙකුත් උපකරන ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුණුවර, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ගම්පහ, ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසක් සමග සම්බන්ධ වී පසුගිය අගෝස්තු 31 දින වත්තල ඇලකන්ද ප්‍රදේශයේ දී කල්ඉකුත් වූ ඖෂධ අලෙවිකරන ලද පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබූ විවිධ වර්ගයේ කල් ඉකුත් වූ ඖෂධ පෙති 1290 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා සහ ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ගම්පහ, ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය සැප්තැම්බර් 01 දින මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී එලන ලද නීති විරෝධී දැල් 26 ක් සොයා ගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.