ලෝක කැරම් ශූරතාවය ජයාග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හරසරින් පිළිගැනේ
 

කොරියානු කැරම් සම්මේලනය මඟින් සංවිධානය කරනු ලැබු 05 වන ලෝක කැරම් තරඟාවලිය පසුගිය අගෝස්තු 24 වන දින සිට 29 දින දක්වා රටවල් 20 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ චන්චියොන් හි පිහිටි සොන්ගම් ක්‍රීඩා ගම්මානයේදී පැවැත් විය. එහිදී ලෝක කැරම් පිරිමි ශූරතාවය ශ්‍රී ලංකාව හිමි කර ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කැරම් කාන්තා අනුශූරතාවය හිමි කර ගැනීමට සමත් වන ලදී.

මෙම තරඟාවලිය සඳහා සාමාන්‍ය නැවි නිශාන්ත ප්‍රනාන්දු සහ සාමාන්‍ය කාන්තා නැවි ජෝශප් රෝෂිතා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ අතර, එහිදී කේවළ අංශ නියෝජන කරමින් සාමාන්‍ය නැවි නිශාන්ත ප්‍රනාන්දු සිව්වන ස්ථානය ද සාමාන්‍ය කාන්තා නැවි ජෝශප් රෝෂිතා හයවන ස්ථානයද හිමි කර ගැනීමට සමත් වන ලදී. තවද, යුගල අංශයන් නියෝජනය කරමින් පිරිමි අංශයෙන් සාමාන්‍ය නැවි නිශාන්ත ප්‍රනාන්දු සහ චමල් කුරේ තෙවන ස්ථානය ද කාන්තා යුගල අංශය නියෝජන කළ සාමාන්‍ය කාන්තා නැවි ජෝශප් රෝෂිතා සහ යසිකා රාහුබන්දු තෙවන ස්ථානය ද හිමි කර ගැනීමට සමත් විය.

ඒ අනුව, ලෝක කැරම් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලක් මවට අභිමානයක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (අගෝස්තු 31) දිවයිනට පැමිණි අතර, එහිදි ඔවුන් කටුනායක බණ්ඩාරනායක අන්නර්ජාතික ගුවන්තොටුපොළේදී අධිකරණ හා බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය, ගරු නීතීඥ එච්ආර් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් උණුසුම් අයුරින් පිළි ගනු ලැබිණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා කැරම් සංචිතයේ ලේකම්, ලුතිනන් කොමාණ්ඩර් රොෂාන් ජයතිලක මහතා ඇතුළු අධ්‍යක්‍ෂ ක්‍රීඩා කාර්යාලයේ නිලධාරින් පිරිසක් සහභාගීවි සිටියහ.