යුද්ධයේදී අබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවෙකු වෙත මුදල් පරිත්‍යාගයක්
 

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා විශ්‍රාමික සේවා පුද්ගලයින්ගේ සංගමය විසින් යුද්ධයේදී අබාධිත තත්ත්වයට පත් සුළු නිලධාරි ඩීඑස් ආරියරත්න රණවිරුවා හට රුපියල් 425,000.00 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. ඒ අනුව, එම මුදලට අදාළ ප්‍රේශණ පත අදාල රණවිරුවා වෙත ප්‍රදානය කිරීම ඊයේ (අගෝස්තු 29) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා  මහතාගේ සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා විශ්‍රාමික සේවා පුද්ගලයින්ගේ සංගමයේ සාමාජික කපිතාන් (විශ්‍රාමික) මහේන් අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් පී 465 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්තව සේවය කරමින් සිටියදි කන්කසන්තුරෙයි මුහුදු ප්‍රදේශයේදි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදු කරන ලද සටනේදී දරුණු ලෙස තුවාල සිදුවීමෙන් දැනට වෛද්‍ය හේතුන් මත විශ්‍රාමිකව සිටින මෙම රණවිරුවාගේ පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා මෙම ආධාර මුදල ලබා දීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, කොමදෝරු නිලන්ත හීනටිගල මහතා සහ නාවික හමුදාධිපතිගේ නාවික සහයක කොමදෝරු සුජිව සෙනෙවිරත්න මහතා  සහභාගිවි සිටියහ.