නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 14 දෙනෙකු සහ අලෙවිකිරීමට රැගෙනයමින් තිබූ කැස්බෑ මස් තොගයක් නාවික හමුදා භාරයට පත් විය.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පසුගිය අගෝස්තු 20 වන දින අරිප්පු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස කැස්බෑවන් මරා මස් පිනිස විකිණිම සඳහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ කැස්බෑ මස් කිලෝග්‍රෑම් 22 ක්, ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැල් 05 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, කැස්බෑ මස් තොගය, ඩිංගි යාත්‍රාව සහ තහනම් දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩු, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය අගෝස්තු 19 දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක්, පුල්මුඩෙයි පොලිස් විශේෂකාර්ය බළකායේ නිලධාරීන් සහ කුච්චවේලි පොලීසිය සමඟ සම්බන්ධවී කුච්චවේලි ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතාකරමින් මසුන් මරා රැගෙනයමින් සිටියදී පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 1269 ක් හා මසුන් ප්‍රවාහනය සඳහා භාවිතාකරන ලද ලොරි රථය නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, මසුන් තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

පසුගිය අගෝස්තු 23 දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක්, නෝර්වේ තුඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ තහනම් දැලක් සහ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, තහනම් දැල සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතූර්, ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පසුගිය අගෝස්තු 26 දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක්, කල්ලාරු ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 05 ක්, තහනම් දැලක් සහ ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, මසුන් තොගය, තහනම් දැල සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, පොලීසීය වෙත භාර දීමට කටයුතු කරන ලදී.