මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළ පිරිසිදු කිරීමට නාවික හමුදාවේ සහාය
 

විවිධ අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍ර වී තිබූ මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (අගෝස්තු 25) ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදාව විසින් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදී.

මෙම වැඩසටහන සිරස මාධ්‍ය ජාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘සිරස ගම්මැද්ද V-Force දෙවැනි අදියර යටතේ සංවිධානය කර තිබූ අතර, මීගමුව මහ නගර සභාව, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු ස්වේච්ජා සංවිධාන සමඟ අත්වැල් බැඳගනීමින් නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ මඟපෙන්වීම යටතේ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ නාවික කිමිදුම් අංශයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගිවී සිටියහ. මෙම වැඩසටහන් මාලාව අවසනායේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 750 ක් පොලිතීන් කිලෝග්‍රෑම් 50 ක්, සෘජුෆෝම් කිලෝග්‍රෑම් 50 ක් සහ කාබනික අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3000 ක් පමණ ‍එකතු කර ගැනීමට හැකියාව ලැබුණු අතර, එකතුවි තිබූ පොලිතින් සහ ප්ලාස්ටික් තොගය නාවික හමුදාව විසින් මට්ටක්කුලිය, කාක දුපතේ පවත්වාගෙන යනු ලබන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරුණි.

තවද, අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළ තීරයන් සහ කළපු මෙන්ම කඩෝලාන ආශ්‍රීත පරිසර පද්ධතීන් පිරිසිදුව පවත්වාගෙන යාමට කටයුතු කරනු ලබන අතර, සාගරික සම්පත් සුරැකීම ඉතාමත් වැදගත් කාර්යභාරයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව හඳුනාගෙන ඇත. එමෙන්ම, ඉතා කාර්යක්‍ෂම ශ්‍රම බලකායකින් යුතුව සිවිල් සංවිධාන සහ ආයතන සමඟ එක්ව අත්වැල් බැඳගනීමින් නිරන්තරයෙන් සාගර පද්ධතිය ආරක්‍ෂා කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කරමින් සිටි.