නාවික හමුදා අන්තර් විධාන පාපැදි තරඟාවලිය පුනෑවේදී නිමාවට පත්වෙයි
 

ශ්‍රි ලංකා නාවික හමුදා අන්තර් විධාන පාපැදි තරඟාවලිය මෙවර උතුරු මැද නාවික විධානයට අයත්  ශ්‍රි ලංනානෞ පණ්ඩුකාභය ආයතනය මුල් කර ගනිමින් අගෝස්තු මස 04 වන දින පවත්වන ලදී. ඒ සඳහා පිරිමි පාපැදි තරඟකරුවන් 89 දෙනෙකු සහභාගි වූ අතර, එහි සමස්ථ දුර සැතපුම් 90 ක් විය. තවද, මේ සඳහා කාන්තා පාපැදි තරගකාරියන් 17 දෙනෙකු සහගාගි වූ අතර, එහි දුර සැතපුම් 20 ක් වන ලදී.

පිරිමි තරඟකරුවන්ගේ පාපැදි තරඟය පුනෑව‚මැදවච්චිය‚සෙටිටිකුලම‚පරයානකුලම් හන්දියට ගොස් එම මාර්ගයේම නැවත පණ්ඩුකාභය නාවික කඳවුර අසලින් අවසන් වූ අතර, කාන්තා තරඟකාරියන්ගේ තරඟය පුනෑව මැදවචිචිය නගරයට ගොස් එම මාර්ගයේම නැවත තරඟ ආරම්භක ස්ථානයෙන් අවසන් විය. ඒ අනුව, තරඟයේ පිරිමි සමස්ථ ශූරතාවය නැගෙනහිර නාවික විධානය හිමිකර ගත් අතර, එහි අනු ශූරතාවය දකුණු නාවික විධානය හිමි කර ගන්නා ලද අතර, කාන්තා තරඟාවලියේ සමස්ථ ශූරතාවය පුහුණු නාවික විධානය විසින් ද එහි අනු ශූරතාවය උතුරු නාවික විධානය ද හිමි කර ගන්නා ලදී.

තවද, තරඟයේදී විශේෂ දක්‍ෂතා දක්වමින් පුහුණු නාවික විධානය නියෝජනය කරන ලද නායක නැවි (විනයාරක්ෂක) ජිජිටි සොයිසා නාවිකයා පළමු ස්ථානය ද, දෙවන ස්ථානය නැගෙනහිර නාවික විධානය නියෝඡනය කරන ලද බල නැවි යුඩිඑස් ප්‍රසංග නාවිකයා ද එහි තෙවන ස්ථානය දකුණු නාවික විධානය නියෝජනය කළ සුළු නිලධාරි ඩියු රෝහණ ඡ්‍යෙෂ්ඨ නාවිකයා ද හිමි කර ගන්නා ලදි. එමෙන්ම, කාන්තා තරඟයේදී ප්‍රථම ස්ථානය පුහුණු විධානය නියෝජනය කළ සාමාන්‍ය කාන්තා නැවි පීපීඑන්කේ මධුවන්ති නාවිකයා ද, දෙවන ස්ථානය සාමාන්‍ය කාන්තා නැවි එච්පිඑස් මධුමාලි නාවිකයා ද, බටහිර නාවික විධානය නියෝජනය කරමින් දිනාගත් අතර, එම තරගයේ තෙවන ස්ථානය පුහුණු නාවික විධානය නියෝජනය කළ කාන්තා නායක නැවි ජේඑම්සිකේ ජයසේකර නාවිකයා විසින් හිමි කර ගන්නා ලදී.

උතුරු මැද නාවික විධාන භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය. තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රිලංනා‍නෞ ශික්ෂා අයතනයේ ආඥාපති කපිතාන් අශෝක විජේසිරිවර්ධන මහතා, කපිතාන් සැපයුම් හා සේවා දෙපාර්තමේනතු (උතුරු මැද) ප්‍රධානී, කපිතාන් විජිත මාරපන මහතා සහ නාවික හමුදා පාපැදි සංගමයේ සභාපති, කපිතාන් චන්දන රත්නායක මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නාවිකයන් සහභාගි විය.